පොත ගැන


මව මිය ගිය පසු තම පුංචි අම්මා සහ බාප්පා සමග ජීවත් වීමට ජැමෙයිකා තානායමට යන මේරි යෙලන්ට අත්භූත ,අභිරහස් සිදුවීම් පෙලකට මුහුණ දීමට සිදුවෙයි. මේරි සෙමෙන් එම නිවසෙහි සැඟවුනු සත්‍ය වටහා ගන්නා අතර ඇය සහ ඇගේ පුංචි අම්මා මහත් දරුණු අන්තරායක පැටලී ඇති බව අවබෝධ කර ගනීයි.


ඇයට ඇයවත් පුංචි අම්මාවත් මින් ගලවාගත හැකි වේද?

3/29/2013

පලමු කොටස-කරත්ත රියදුරාගේ අනතුරු ඇඟවීම!

පලමු පරිච්ඡේදය-ජැමෙයිකා තානායම


එය නොවැම්බරයේ අග භාගයේ සීතල අඳුරු දිනයකි.දිවා සමය උවද සීත ඍතුවේ අඳුරු බව කදු මුඳුන් සිසාරා විත් ඔවුන් මීදුමෙහි ගිල්වීමට සමත් විය.අවට වාතලය අධික ශීතලෙන් යුතු විය.සීතල, හොදින් වසා තිබුනු ජනෙල් පියන් තුලින් රිංඟා අශ්ව කරත්තය තුලට පැමිණියේය.වහලයේ පලුද්දක් තිබූ තැනකින් කුඩා වැහි බිඳු සම් ආසනය මතට සෙමෙන් වැටෙන්නට විය.සුලඟ කෙතරම් තදින් හැමුවේද  යත් පොළවේ උස් වූ තැන් හරහා ගමන් කරනා විට මුළු කරත්තයම වෙව්ලුම්කමින් නොපෙරළි සිටින්නට වෑයම් දරමින් සිටියේය.කරත්තයේ රෝද,පාරේ වූ වලවල් තුලටම කිඳා බැස මඩ කැටිති වීදුරුව පුරා විසිරුවා හැරි අතර ඒවා වැසි ජලය සමග මුසුවී වීදුරුවෙන් එපිට දර්ශන පථය අවහිර කලේය.

කරත්තය තුල මගීන් කිහිප දෙනෙක් උණුසුම පතා එකිනෙකාට ලංව වාඩිවී සිටියහ.මේරි යෙලන් වහලයෙන් වැහි බිංදු කාන්දු වන ස්ථානයේ හිඳ සිටියෙන් මුහුනට වැටුනු වැහි බිංදු ඇගේ නොසන්සුන් ඇඟිලි තුඩු වලින් පිස දමන්නට විය.තමා අවුරුදු 25ක් තිස්සේ ජීවත් වූ දයාබර නිවසින් ඈත්ව සිටියේ සැතපුම් 40ක් පමණක් වුවද ඇයට පාලුව තනිකම තදින් දැනෙන්නට විය.මවගේ අසනීප වීම හා මරණය නිසා ඇතිවූ දුක තුනී කර ගැනිමට ඉවහල් වූ ඇගේ අතිමහත් ධෛර්යය මේ වැසි සහිත මාරුතය විසින් මොට කර තිබිනි.

ඇයට තම පුංචි අම්මාගේ ලියමන සිහිවිය.හෙල්ෆෝඩ් වලින් පිටත්ව ගොස් බොහෝ කල් ගත වී ඇති හෙයින් තම සොහොයුරිය අසනීප තත්වයෙන් පසු වන බව දැන නොසිටි බවත් දුක්ඛදායක ආරන්චිය ඇයට මහත් කම්පනයක් වූ බවත් ඇය එහි සදහන් කර තිබිනි.

"ඔබට සිතා ගත නොහැකි තරමට මේ ප්‍රදේශය දැන් වෙනස් වී ඇත.මම දැන් වාසය කරන්නෙ බොඩ්මින් වල නොවේ.ඉන් සැතපුම් 12ක් පමන ඇතින් ලොන්ස්ටන් වෙත යන පාරේ පිහිටි ජන ශුන්‍ය හුදකලා පෙදෙසකයි.මේ ශීත ඍතුවේ ඔබට අප සමග එක් වෙන්ට හැකි නම් අප බෙහෙවින් සතුටු වෙමු.බාප්පාද මේ ගැන විරොධතාවක් දැක්වූයේ නැහැ.ඔබ අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කරයි නම් ඔබේ පැමිණීමේ වරදක් නැතැයි යන්න ඔහුගේ අදහසයි.ඔහුට ඔබ හට කෑම බීම වත් මිල මුදල් වත් නිකරුනේ සැපයීමට නොහැකි වග ඔබට තේරුම් ගත හැකියැයි සිතමි.එබැවින් ඔබට දෙන කැම බීම හා ඉඳුම් හිටුම් වෙනුවට ඔබව මෙහි තැබෑරුමේ වැඩට ගැනිමට ඔහු අදහස් කරයි. ඔබ දන්නා පරිදි ඔහුට ජැමෙයිකා නම් තානායම අයිතිය."

ඇගේ මතකයේ රැදී ඇති පරිදි සැම වෙලෙහිම ප්‍රීතියෙන් පසු වන පේශන්ස් පුංචි අම්මාගෙන් ලැබුනු මෙම ලියමනෙහි වූ අමුතු තාලේ ආරාධනය ඇයට අභිරහසකි.ලතෙත් බවින් තොර,හිස් බවින් යුතු එම ලියමනෙන් මුදල් ඉල්ලා නොසිටින ලෙස හැර වෙනත් කිසිම වැදගත් විස්තරයක්,සුහද බවක් හෝ උණුසුම් බවක් ගම්‍ය නොවිය.
සිල්ක් සායවල් ඇද සියුමැලි ගතිගුණ වලින් යුතුවූ පේශන්ස් පුන්චි අම්මා, තානායම් කරුවෙකුගේ බිරිදක්!!!

ඒ නිසාවෙනි මේරි යෙලන් උතුර බලා අශ්ව කරත්තයක ගමන් කරමින් සිටියේ.ගම්මාන එකිනෙක ඔවුන් පසු කර නොපෙනී යන්නට විය.කුඩා නිවාස ඉදිරිපිට සිනාසෙන මුහුනු වලින් යුතු වූ මිනිසුන් සිටගෙන සිටියහ.දැන් මග දෙපස දිස්වූ ගස් කොලන් ක්‍රමයෙන් අඩු වන්නට විය.සුලඟ උඩු බුරලමින් වැස්ස සමග පාවි එන්නට විය.අශ්ව කරත්තය සුහදශීලි නොවූ අලු පැහැ පසුබිමින් යුතු බොඩ්මින් කරා ලගා වූ විට මේරි යෙලන් හැර අනෙක් සියලුම මගීන් තම බඩුමුට්ටු එකතු කොටගෙන එකා බැගින් බැස යන්නට විය.වැසි දියෙන් පෙඟුනු මුහුණක් සහිත අශ්ව කරත්තයේ රියදුරා මේරි යෙලන් දෙස ජනෙලයෙන් බලා"ඔයා යන්නේ ලොන්ස්ටන් වලටද?" යි ඇසුවේය.

"මේ රැ විල්ලුව මැදින් යන එක හුගක් මහන්සි දැනෙන ගමනක්.ඒ නිසා ඔයා අද රෑට බොඩ්මින් වල ඉන්න.හෙට උදේම අශ්ව කරත්තයෙන් ලොන්ස්ටන් වලට යාහැකි .ඔබ විතරයිනෙ දැන් යන්න ඉන්නේ"


"මගේ යාලුවෝ මම එනකල් බලන් ඉදීවිනේ" මේරි කීවාය."මම බය නෑ.මට ලොන්ස්ටන් වලට යනකල්ම යන්න අවශ්‍යත් නෑ.කරුණාකරලා මාව ජැමෙයිකා තානායම  ලඟින් බස්සනවද?"

ඔහු ඇය දෙස අමුතු බැල්මක් හෙලුවාය.

"ජැමෙයිකා තානායම?" ඔහු කීවේය."ඔබට මොකක්ද ජැමෙයිකා තානායමේ ඇති වැඩේ.ඒක කාන්තාවන්ට යන්න හොද තැනක් නම් නෙමේ.ඔයාට වැරදීමක් වෙලා වගේ"
ඔහු ඇය දෙස විශ්වාස නොකරන සුලු බැල්මක් හෙලා කීවේය.

ඉන් නොනැවතුනු ඔහු ඔහුගේ උරහිසට ඉහළින් පිටිපස බලා, රෝයල් හොටලය නම් හොටලයේ දොරකඩ ලන්තෑරුමක් පත්තු කරමින් සිටි කාන්තාවකට අඬ ගැසුවේය.ක්‍රමයෙන් දසත අඳුර පැතිරෙමින් තිබිනි.


"මෙහෙ එන්නකො.මේ ගෑණු ළමයාට තෙරුම් කරලා දෙන්න.එයා යන්නෙ ලොන්ස්ටන් වලටයි කියලයි කිව්වෙ.ඒත් දැන් කියනවා එයාව ජැමෙයිකා තානායමට ඇරලවන්නලු."

කාන්තාව පඩි බසිමින් විත් කරත්තය තුලට එබී බැලුවාය.

"අපෝ,ඒක නපුරු,හොද නැති තැනක්" ඇය කීවාය.

"ඔයා හොයන්නේ රස්සාවක් නම් එහෙන් නම් ඔයාට හොයාගන්න ලැබෙන්නෙ නෑ.එයාල විල්ලුවට එන අමුත්තන්ට කැමති නෑ.ඔයාට බොඩ්මින් වලින් ඊට වඩා හොද එකක් හොයාගන්න පුලුවනි"
මේරි ඇය දෙස බලා සිනාසුනාය.

"මට මුකුත් වෙන්නෙ නෑ" ඇය කීවාය. "මම යන්නේ මගේ නෑයො ලගටයි.ජැමෙයිකා තානායම  අයිති මගේ බාප්පාටයි"

එහි දිඟු නිහඬතාවයක් විය. 

අලු පැහැ එළියෙන් ඇයට දැක ගත හකි වූයේ මෙම මිනිසා හා කාන්තාව ඇය දෙස බලා සිටින බවයි.ඇයට කන්සා සහිත බවක් හා උදාසීන බවක් දැනෙන්නට විය.ජනේලයෙන් මදක් ඈත් වූ කාන්තාව "මට සමාවන්න"යි කීවාය. "ඒක මට අයිති වැඩක් නෙවේ ඇත්තටම.සුභ රාත්‍රියක්!"

රතු පැහැයට පත් මුහුණින් යුතු රියදුරා එම අපහසුතාවට පත් වන කතා බහ අමතක කරන්නට මෙන් සිවුරුහන් කරන්නට විය.මේරි ඉදිරියට නැමී ඔහුගේ බාහුවෙන් අල්ලාගත්තාය.

"මට කියනවද?"ඇය කීවාය. "මම ගණන් ගන්නෙ නෑ ඔයාලා මොනවා කිව්වත්.මගේ බාප්පා හොද කෙනෙක් නෙමේද?මොකද්ද ප්‍රශ්නේ?"

එම මිනිසා අපහසුතාවයට පත්වූ සෙයකි.ඔහු ඇගේ දෑස් මඟ අරින්නට විය.

"ජැමෙයිකා තානායමට තියෙන්නෙ ඒතරම් හොඳ නමක් නෙමේ"ඔහු කීවේය. "ඒක ගැන අමුතු තාලේ කතා කියනවා.දන්නවානේ ඉතින් ඕවා ගැන.මට කරදරේ වැටෙන්න ඕන නෑ.සමහර විට ඒ කතා බොරු වෙන්නත් ඇති"

"මොන වගේ කතාද?" මේරි ඇසුවාය. "මිනිස්සු එතන බීගෙන ඉන්නවද? මගේ බාප්පා එතනට නරක මිනිස්සු ගෙන්න ගන්නවද?"

මිනිසා පිළිතුරු දීමට මදක් මැලි විය.
"මට කරදරේ වැටෙන්න ඕන නෑ."ඔහු නැවතත් කීවේය."මම කිසි දෙයක් හරියටම දන්නේ නෑ.මිනිසුන් කියන කතා විතරයි."
"වැදගත් මිනිස්සු දැන් එහෙ යන්නේ නෑ.එච්චරයි මම දන්නේ.ඉස්සර නම් අපි එතෙන්ට යනවා අශ්වයන්ට වතුරයි කෑමයි දෙන්න,කන්න බොන්න එහෙම.ඒත් අපි දැන් යන්නේ නෑ"

"ඇයි මිනිස්සු එහෙ යන්නෙ නැත්තේ?මොකද්ද හේතුව?"

ඔහු මදක් නිහඩ විය.ඔහුට පැවසීමට අවශ්‍ය දෙය නිහඩව මනසින් ගලපන වගක් පෙනෙන්නට විය.
"එයලා බයයි" ඔහු අවසානයේ කීවේය.
වෙන කීමට කිසිවක් නැති බව ඇගවීමට මෙන් හිස සෙලවූ ඔහු දොර වසා දමා අශ්ව කරත්තයේ ඔහුගේ අසුනට ගොඩ විය.

---මතු සම්බන්ධයි----