පොත ගැන


මව මිය ගිය පසු තම පුංචි අම්මා සහ බාප්පා සමග ජීවත් වීමට ජැමෙයිකා තානායමට යන මේරි යෙලන්ට අත්භූත ,අභිරහස් සිදුවීම් පෙලකට මුහුණ දීමට සිදුවෙයි. මේරි සෙමෙන් එම නිවසෙහි සැඟවුනු සත්‍ය වටහා ගන්නා අතර ඇය සහ ඇගේ පුංචි අම්මා මහත් දරුණු අන්තරායක පැටලී ඇති බව අවබෝධ කර ගනීයි.


ඇයට ඇයවත් පුංචි අම්මාවත් මින් ගලවාගත හැකි වේද?

5/05/2013

9 වන කොටස- ජැමෙයිකා තානායමේහි සැඟවුණු රහස්!





ඇයට නින්ද ගොස් ඇත.රාත්‍රියේ එක්වරම ඇය අවදි වී ඇඳ මත හිඳගෙන සිටියාය.ඇය නිසලව දෙසවන් යොමා සිටියද තම ගැහෙන හදවතෙහි රිද්මය විනා අන් කිසිවක් ඇයට ඇසුනේ නැත.මිනිත්තු කිහිපයක් ගෙවී ගියේය.එක්වරම ඇගේ කාමරයට කෙලින්ම පහලින් කිසියම් හඩක් ඇසෙන්නට විය.ඒ කිසියම් බරැති යමක් ගල් සහිත පොළව දිගේ පැසේජය හරහාද ඉන්පසු තරප්පුවේ පහළටත් ඇදගෙන යන හඩකි.ඇය ඇදෙන් බැස ජනේලය අසලට ගොස් එය මදක් විවර කලාය.සඳ එළියෙන් ඇයට ගෙවත්තෙහි නවතා තිබූ ගැල් පහක් දක්නට ලැබිණි.මින් තුනක් ආවරණය කර තිබූ ගැල් වූ අතර අනෙක් දෙක එසේ නොවීය.ඒ සෑම එකක්ම අශ්වයින් දෙදෙනෙකු විසින් ඇදගෙන යන වර්ගයේ ඒවා විය.මින් එක් ආවරණය කරන ලද ගැලක් ඇගේ ජනේලයට කෙලින්ම පහලින් නවතා තිබුනු අතර එහි බැඳ තිබූ අශ්වයින්ගේ උණුසුම් ශරීර වලින් දහඩිය වලා පිටවන්නට විය. එම ගැල් වටා එක්ව සිටි සමහරක් මිනිසුන් එම සවස් කාලයේ තැබෑරුමෙහි බීමතින් සිටි වුන් විය.මීට අමතරව ගෙවත්තෙහි මේරි විසින කිසිදා දැක නොමැති පිටස්තර මිනිසුන්ද විය.

ඇය මෙලෙස බලාසිටින අතරතුර මේ සියල්ල තේරුම් ගැනීමට උත්සහ කලාය.එසේනම් මෙම ගැල් වලින් ප්‍රවාහනය කරන ලද පෙට්ටි හා පාර්සල් ජැමේයිකා තානයමේහිදී ගොඩ බා තැන්පත් කරගන්නවා විය යුතුය.ඒවා එහි තිබූ අගුල් දමන ලද කාමරයෙහි ගබඩා කර තබයි.මේ සෑම දෙයක්ම සම්පූර්ණ නිෂ්ෂ්‍යබ්දතාවයෙන් යුතුව සිදුකරන ලදි.සැදෑකාලයේ තැබෑරුමෙහි සිංදු කියමින් හා කෑකෝගසමින් සිටි මෙම මිනිසුන් දැන් නිහඬ බැරෑරුම් ස්වභවයකට පත්ව සිටියේ ඔවුන්ගේ රැකියාවට පූර්ණ අවධානය යොමුකරමින්ය.

ජොස් මර්ලින් ඉදිරිපස දොරටුව අසලට පැමිණියේය. ඔහු අසලින් සිටගෙන සිටියේ එම සැදෑවේ ඇය දුටු තොරොම්බල්කරුවායි.
"එච්චරයිද තියෙන්නෙ?" ඔහු මෘදුව ඇසුවේය.

එවිට එම අවසන් ගැලේහි රියදුරා එය එසේ බවට අත ඔසවා සන් කලේය.ඉතින් එම ගැල් රථ ජැමෙයිකා තානායමෙන් ඉවතට ගමන් කරන්නට විය.ගෙවත්තෙන් ඉවතට එකා පසුපස එකා පැමිණි ඒවා මහා මාර්ගයට පැමිණි පසු උතුරු දෙසටත් දකුණු දෙසටත් හැරී අවසන් ගැලත් ඇගේ දෑස් මානයෙන් නොපෙනී යනතුරු ගමන් කරන්නට විය.ගෙවත්තෙහි දැන් සිටගෙන සිටියේ මේරි මින් පෙරි දැක නැති මිනිසෙකුත් තොරොම්බල් කරුවාත් ජැමෙයිකා තානායමෙහි තානායම්කරුවාත් පමණි.ඉන් මොහොතකට පසු ඔවුනුත් හැරී නිවස තුලට ගමන් කලෝය.ඔවුන් පැසේජය දිගේ ගමන් කොට තැබෑරුමට වැදී එහි දොර වසා දමනු මේරිට ඇසුණි.දැන් ශාලාවෙහි තිබූ විශාල ඔරලෝසුවේ රාත්‍රී 3 වදින නාදය විනා එහි වෙනත් කිසිඳු ශබ්දයක් නොවීය.

මේරි ජනේලය අසලින් ඉවත්ව ඇගේ ඇඳ මත හිඳගත්තාය.සීතල සුලඟ ඇගේ උරහිසේ ඇට මිදුලු පසා කරගෙන යෑම නිසා ඇය සීතලෙන් වෙවුලන්නට විය.එසේ නම් මෙය මහා පරිමාණයෙන් සිදුවන හොර බඩු ජාවාරමකි.ජොස් මෙර්ලින්ට මෙවන් ජාවාරමක් හැසිරවීමට අවශ්‍ය බුද්ධිය හා දක්ෂතාව තිබේද?එසේ නම් ඔහු පසුගිය සතිය මුළුල්ලේම නිවසින් බැහැරව අද මෙහි සිදුවන මෙම හොර බඩු ප්‍රවාහනයට අදාල පහසුකම් සූදානම් කරමින් සිටියේද?ඔහුගේ සහචරයින් වන මෙම වනචාරි පෙනුමෙන් යුතු මිනිසුන් ක්‍රමානුකූලව හා ප්‍රවේසමින් තෝරාගන්නට ඇත්තේ ඔවුන්ගේ පෙනුම සැලකිල්ලට නොගෙන විය හැක.මෙතරක් කලක් නීතීයේ රැහැනට හසු නොවී සිටීමට නම් ඔහු මෙම සමස්ථ ජාවාරමම සීරුවෙන් පාලනය කරමින් සිටිනවා විය යුතුය.මෙවන් හොර බඩු ජාවාරමක් පිළිබද ඉව වටුණු ඕනෑම මහෙස්ත්‍රාත් වරයෙකු මෙම තානායම පිළිබඳව සැක කරනු නිසැකය.එහෙත් ඒ ඔහුත් මෙම ජාවාරමේ හවුල්කරුවෙකු නොවනවානම් පමණි!!

ඇගේ පුංචි අම්මා නොවන්නට ඇය වහාම මෙම තානායමෙන් පිටව ගොස් ආසන්නම නගරය සොයා ගොස් ජොස් මෙර්ලින් පිලිබඳ තතු හෙලි කරනු නිසැකය.එවිට ඔහු හා ඔහුගේ සගයන් සියල්ලෝම බන්ධනාගාරගත වනු ඇති අතර මෙම ජාවාරමට නැවතීමේ තිත තැබෙනු ඇත.

එහෙත් ඇය තවමත් දැක ඇත්තේ මෙම ජාවාරමෙහි එක් පැතිකඩක් පමණද?මෙහි වන තවත් බොහෝ දෑ ඇයට දැනගැනීමට ඇත්ද? ඇයට පෙරදිනක  තම පුංචි අම්මාගේ දෑසෙහි දුටු භීතිය සිහියට පැමිණි අතර එදා මුලුතැන්ගෙයි දොර පිටිපස සිට පොළව දිගේ ඇදුනු සෙවණැලි දෙස බලමින් ඇය තෙපලූ වදන් ඇයට සිහි විය.
" මේරි,මේ ජැමෙයිකා තානායමේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා.ඒ ගැන වචනයක් වත් පිට කරන්න  හිතන්න වත් බැරි විදියේ දේවල්.ගොඩක් නරක,දුශ්ඨ දේවල්. මට ඒව ඔයාට කවදාවත් කියන්න බෑ.මම තාම ඒවා මෙහෙ සිද්ධ වෙනවා කියල පිළිගන්න වත් ලෑස්ති නෑ"


-------------මතු සම්බන්ධයි---------------

4/20/2013

7 වන කොටස- හුදකලා විල්ලුවේ සැඟවුනු අභිරහස් සොයා..




ජොස් මර්ලින් එම සතිය පුරාවටම නිවසින් බැහැරව සිටියෙන් මේරිට එම ප්‍රදේශය මනාව අධ්‍යනය කරන්නට ඉඩ ප්‍රස්ථාව සැලසිනි.පුංචි අම්මාට ගෙදර දොර හා මුළුතැන්ගෙයි වැඩ කටයුතු වලට උපකාර කිරීමෙන් අනතුරුව ඇයට ඇය කැමති තැනක නිදහසේ ඇවිද යාමට හැකියාව තිබිණි.
එම විල්ලුව ඇය මුලින් සිතුවාටත් වඩා චණ්ඩ වූත් වනගත වූත් ස්ථානයක් බව ඇය වටහා ගත්තාය.විසල් කාන්තාර පෙදෙසක් මෙන් එය නැගෙනහිර සිට බටහිරට ඇදී ගියේය.අඩි පාරවල් එහි මතුපිට එහෙමෙහෙ දිව යන්නට වූ අතර ක්ෂිතිජ රේඛාව ඛණ්ඩනය කල උස්වූ විසල් කදු ගැට තැන් තැන් වලින් මතුවී තිබුණි.එය කිසිදා මිනිස් ස්ඵර්ශයක් නොලද නිහඩ හිස් භූමියකි.උස් වූ කදු මුදුන් වල ගල් කුළු එකිනෙකා මත වැටී තුබුනේ විවිධ රටා මවමිනි.මැවුම්කරුවානන්ගේ හස්තයෙන් එම ගල් කුළු මැවූ දින පටන් ඒවා උදාර ආරක්ෂකයන් මෙන් එහි නැගී සිටින්නට ඇතුවා නිසැකය.ඒ උස් කඳු මුදුන් වල බැටළු රංචු ජීවත් විය.එම විල්ලුවේ ආහාර සොයමින් දසත ඇවිදින කලු පැහැ වසු පැටවුන්ගේ කුර පරෙස්සමින් දැඩි පොළවම තොරා ගනිමින් ගමන් කරන්නට විය.සහජ උරුමයෙන් ලද දැනුමෙන් ඔවුන් එම කොල පැහැ දිගු තණකොල මඟහැරියේ පෙනුමෙන් එසේ වුවත් ඒවා සැබවින්ම මෘදු භයානක මුලා කරවන සුළු මඩවගුරු බව දත් නිසාය.එම උස් කඳු මුඳුන් වලටම ආවේණික වූ නිහඬ බවක් ඒවා වෙනත් යුගයකට අයත් බව විදහා දැක්වීය.කලෙක මෙහි වැජඹුනු එහෙත් තිබූ බවක් වත් නොඅඟවා අතීතයට මුසුවී ගිය යුගයක්.මිනිසා මෙලොව පහළ වීමට පෙර යුගයක්.

එක් දිනක් මේරි විල්ලුවේ නැගෙනහිර පෙදෙසේ ජොස් පළමු දින රාත්‍රියේ විස්තර කරන ලද දිශාවට ඇවිදයන්නට විය.ඇය මඳ දුරක් කඳු අතරට ඇවිදගොස් නැවතී ඇය වටකර සෑම දිශාවකටම දිව යන හිස් විල්ලුවේ මැද සිටගෙන සිටියාය. ඇයට තමා ඉදිරියෙන් පොළව බෑවුම් වන ස්ථානයක වූ ගැඹුරු හා අන්තරාදායක වගුරු බිම දැකගත හැකිවිය.කුඩා දිය පහරක් ඈත සිට විත් මීට එකතු විය.එම වගුරු බිමේ ඈතින් අනෙක්පසට වන්නට ඇඟිලි අහස දෙසට එල්ලකරගත් විශාල ගල්කුළක් විය.එය කැඩුනු අතක කොටසක් විල්ලුවෙන් ඉහළට මතුවී තිබෙන්නාක් මෙන් පෙනුනු අතර එහි මතුපිට, කලා කරුවෙකුගේ අතින් නිම වූවාක් මෙන් අනර්ඝ නිමාවකින් යුතු විය.මෙය කිල්මාර් ගල්කුළ විය යුතුය.මින් මඳක් එපිටින් කඳු, හිරු වසාගෙන පැතිරෙන්නට වූ පෙදෙසේ ඈතට වන්නට ජොස් මර්ලින් ඉපදී ඇත.ඔහුගේ බාල සොහොයුරා දැනටත් මෙහි ජීවත් වෙයි.මැතිවු මර්ලින් ඇයට පහළින් වූ මෙම වගුරු බිමේ ගිලී මියගොස් ඇත.මේරි එක්වරම එම කඳුගැටයට පිටුපස හරවා විල්ලුව හරහා දිවයන්නට විය.ඇය නැවතුනේ එම විසල් කදු අතර විල්ලුව අතුරුදන් වී එම ගල්කුළද ඒ අතර සැඟව ගිය පසුයි.ඉතින් ඇය බලාපොරොත්තු වූවාට වඩා වැඩි දුරක් ඇය පැමිණ තිබුනු අතර නැවත නිවසට යෑමට දිගු ගමනක් යාමට තිබුණි.
  අවසන් ගල්කුළද අතුරුදන් වීමට ගතවූ එම කල්පයක පමණ කාලයෙන් පසුව අවසානයේ ඇයට ජැමෙයිකා තානායමෙහි උස දුම්කවුලු ඈතින් දිස්වන්නට විය.ඇය වත්ත හරහා ගමන් කරන විට ඇය දුටුවේ ඉස්තාලයේ දොරටුව හැර තිබෙන බවත් අශ්වයන් එහි ඇතුලත බැඳ දමා තිබෙන බවත්ය.ඇයගේ හදවත කිඳා බසින්නට විය.ජොස් මර්ලින් ආපසු පැමිණ ඇත. ඇය ඉදිරිපස දොරටුව ඇයට හැකිතරම් සෙමෙන් විවෘත කලත් එය විරුද්ධත්වය පාන්නාක් මෙන් ගල් සහිත පොළවේ වැදෙමින් මහ හඩක් නැංවීය.එක් නිමේෂයකින් තානායම්කරුවා එහි පැමිණි අතර ඇය කාමරයට යෑමට තරප්පු පෙළ නගිනවාත් සමඟම ඔහු ඇයට කතා කලේය.

"මෙන්න ඉන්නවා" ඔහු කීවේය.
"අද හවසට නම් ඔහාට වෙලා හැංගිලා ඉන්න වෙන්නේ නෑ.අද හවසට ඔයාට ඔයාගේ බාප්පාත් එක්ක තැබෑරුමේ වැඩ තියෙයි.අද දවස කවද්ද කියලා මතක නැත්ද?"

මේරි කල්පනා කිරීමට මඳක් නැවතුනාය.ඇයට දින ගතවූ අයුරු පිලිබඳ කිසිඳු අදහසක් නොවීය.ඇය මෙහි පැමිණියේ සඳුදා අශ්වකරත්තයෙන්ද?එසේ නම් අද සෙනසුරාදායි.සෙනසුරාදා රාත්‍රිය!!.ඇයට එක්වරම ජොස් මර්ලින් අදහස් කල දෙය වැටහිනි.
අද රාත්‍රියේදී ජැමෙයිකා තානායමට එම මිනිසුන් පැමිණෙනු ඇත!

          ----------------මතු සම්බන්ධයි-------------

5 වන කොටස- ජොස් බාප්පාගෙන් තර්ජන




"මිනිස්සු ගෙනියන අශ්ව කරත්ත දැන් මෙහෙ නවත්තන්නේ නෑ.මම දුක් වෙන්නේ නෑ.මොකද ඇති තරම් අමුත්තො මෙහෙට එන නිසා.අනික වැදගත් මිනිස්සු මෙතනින් ඈත් වෙල ඉන්න තරමට මට හොඳයි. අහ්..මෙහෙ ඇති තරම් බොන්න තියනවා හොඳද.ඒවායෙ අඩුපාඩුවක් නෑ.
මෙහෙට හැම සෙනසුරාදාම රෑට් කට්ටියක් එනවා.එතකොට සමහරු ගෙවල් වල දොරවල් හොදට යතුරු දාගෙන කන් දෙකේ ඇඟිලි ගහගෙන නිඳාගන්නවා.

සමහර දාට මහ රෑ,මේ විල්ලුවේ අනික් හැම ගෙදරක්ම නිශ්ශ්‍යබ්දයි, කළුවරයි.එතකොට සැතපුම් ගානක් එහාට තියන එකම එළිය ජැමෙයිකා තානායමේ ජනෙල් වලින් එන එවා විතරයි.මිනිස්සු කියනවා මෙහෙන් එන කෑකෝගැහිලි,සින්දු කියන සද්දේ ඈත තියන රෆ්ටර් වල ගොවිපලවල් වලටත් ඇහෙනවලු.
ඔයාට ඕන නම් පුළුවන් ඒ රෑ කාල වලට මෙහෙ තැබෑරුමේ ඉන්න.එතකොට බලාගන්න පුළුවන් මොන වගේ යාළුවන්වද මම ආශ්‍රය කරන්නේ කියලා."

මේරි සියොළගම පොළවට මුල් ඇද්දාක්මෙන් සෙලවීමකින් තොරව තම අසුනෙහි ආධාරක තදින් අල්ලාගෙන සිටියාය.
"ඒ හැමෝම මට බයයි" ඔහු කියාගෙන ගියේය.
"ඒ සාපලත් හැම එකාම.කිසිම මිනිහෙක්ට බය නැති උන්, මට බයයි.මේ බීම විතරයි මට හරහට හිටලා තියෙන්නේ.මේ බීමයි මගේ රත් වෙච්ච ලේයි."

"ඒක අපි හැමෝටම තිබුන සාපයක්.මගේ පරපුරේ එක මර්ලින් කෙනෙක් වත් අද වෙනකල් සාමකමී විදියට නින්දෙදි මැරිලා නෑ.

මගේ තත්තාව එක්සෙටර් වලදි එල්ලලා මැරුවා.ඒ එයා මිනිහෙක් එක්ක රංඩුවට ගිහින් ඒකව මරල දාපු නිසයි.
 මම තමයි සහෝදරයො තුන් දෙනෙක් ඉන්න පවුලේ වැඩිමලා...අපි හැමෝම හැදුනේ වැඩුනේ කිල්මා කඳුගැටයේ හෙවනේ.මේ විල්ලුව දිගේ දිගටම අර පැත්තට ඇවිදගෙන ගියොත් ඔයාට බලාගන්න පුළුවන් මහ විසාල පර්වතයක්.හරියට අහසට එල්ල උනු යක්ශයාගේ අත වගේ.ඒක තමා කිල්මා කන්ද.ඒ කන්ඳේ හෙවනේ ඉපදුනා නම් ඔයත් බොන්න පටන් ගනීවි මං වගේ."



"මගේ මල්ලි මැතිව්, ට්‍රෙවතා මඩවගුරේ ගිලිලා මැරුනා.එයා ගැන කිසිම ආරංචියක් නැති උනාම අපි හිතුවේ එයා නාවිකයෙක් වෙන්න ගිහින් කියලයි.ඒත් ඒ අවුරුද්දේ ග්‍රීශ්ම සෘතුවේ මාස හතක්ම මේ පොළවට වැස්සක් වැටුනේ නෑ.මැතිවුගේ මලමිණිය වගුරෙන් උඩට මතු උනා.එයාගේ අත් දෙක උඩට ඉස්සිලා තිබ්බා.ගිජුලිහිණියෝ එයා වටේ කැරකි කැරකි හිටියා.

මගේ පොඩි මල්ලි ජෙම් තමා පවුලේ අත දරුවා.මැතිවුයි මමයි ලොකු කාලෙත් එයා අම්මගේ සායවල් වල එල්ලි එල්ලි හිටිය පොඩි එකෙක්.මට කවදාවත් ජෙම් එක්ක එකඟතාවයකට එන්න බැරි උනා.එයාට ඕනවටත් වඩා මොළේ තියනවා-ඒත් කට පරිස්සම් කරන් ඉන්නේ නම් නෑ.
ඔහ්.වෙලාව ආවාම එයාල ජෙම්ව අල්ලගනී.එයාටත් මරණ දඩුවම දෙයි හරියට එයාලා මගේ තාත්තාට කලා වගේ."

ඔහු තමාගේ හිස් වීදුරුව දෙස බලමින් මදක් නිශ්ශ්‍යබ්ද විය.
"මම දැන් කියෙව්වා ඇති.අදට තවත් කියවන්නේ නෑ.දැන් ඇඳට යනවා මේරි.ඉස්සරහ දොරට හරියටම උඩින් තියෙන්නේ ඔයාගේ කාමරේ තමයි."
මේරි ඔහු පසුකර යන්නට සැරසෙත්ම ඔහු ඇගේ උරහිස් වලින් අල්ලා ඇයව තමා දෙසට හරවා ගත්තේය.
"සමහර දාට රෑ කාලේ මේ පාරේ යන කරත්ත වල සද්දෙ ඇහෙයි"ඔහු කීවේය.
"ඒවා මේක පහුකරලා යන එකක් නෑ.මේ ජැමෙයිකා තානායමේ මිදුලේ එවා නවත්තයි.ඔයාට අඩි සද්ද ඇහෙයි මිදුලෙන්.කතා කරන සද්ද ඇහෙයි ඔයාගේ ජනේලෙට පල්ලෙහයින්.ඒත් ඒ කිසි දෙයක් නෑහුන ගානට ඇඳට වෙලා ඉන්න ඕන මේරි යෙලන්.ඔයාගේ ඇඳ රෙද්දෙන් මූණ් වහගෙන ඉන්න ඕනා.ඔයාට තේරුනාද?"
"ඔව් බාප්පේ"
"හොදයි.දැන් යන්න පුළුවන්.මගෙන් වැඩිය ප්‍රශ්න අහන්න ආවොත් මම ඔයාගේ ඇගේ හැම ඇටයක්ම කුඩු කරලා දානවා"


ඇය කාමරයෙන් පිටතට විත් අඳුරු පැසේජය පසු කොට දෙ අත්ලෙන් බිත්තිය අතගාමින් තරප්පු පෙල නගින්නට විය.බාප්පා කියා තිබූ පරිදිම ඇගේ කාමරය පිහිටා තිබුනේ ඉදිරිපස දොරට ඉහලිනි.ඇගේ ඇදුම් පෙට්ටිය කාමරයේ බිම තබා තිබිනි.එහි වූ ගොරෝසු බිත්ති වල බිත්ති කඩදාසි අලවා නොතිබුනු අතර පොලවට අල්ලා තිබූ  ලෑලිද අපිරිසිදු ඒවා විය.මේසයක් වෙනුවට තැබූ අනෙක් පස පෙරලන ලද පෙට්ටිය මත පලුදු වී ගිය කන්නාඩියක් තබා තිබිනි.ඇදෙහි වූ තුනී ඇද රෙදි, එවා යටට වී උණුසුමට නිඳාගැනීමට තරම් වියලුණු ඒවා නොවීය.ඇය ජනේලය අසලට ගොස් අවට බලාසිටියාය.මාරුතය පහව ගොස් ඇතිමුත් වැස්ස තවමත් මුස්පේන්තු බවින් යුතුව සිහින්ව ඇදහැලෙමින් තිබුනු අතර නිවසේ පැත්තකින් පහලට ගලා ගිය වැසි ජලයෙන් ජනේලයේ වූ කුණු දියවී යන්නට විය.

ඇයට ඉදිරියට කුමන ආකාරයේ දේ වලට මුහුණ දීමට සිදු වනු ඇත්ද.ඒවායින් ඇය කොතරම් බියපත් වුවත් කම් නැත.ඇය ජැමෙයිකා තානායම දමා යන්නේ නැත.ඇය මෙහි පේශන්ස්  පුන්චි අම්මා සමග රැදී සිටිය යුතුය.ඇයව මේ ස්ථානයට අවශ්‍ය කර තිබේ.
ඉතින් මේරි  ඇද සිටි ඇදුම් පිටින්ම ඇගේ තද ගතියෙන් යුත් ඇඳෙහි දිගා වූවාය.නින්දට පෙර යඥ්ඤාව මුමුනන අතරද ඇගේ සිතුවිලි අතර සිර වී සිටින සිත එවායින් ගලවා ගන්නට ඇය අපොහොසත් විය. එම අවසානයක් නොමැති රාත්‍රියේ පුරා පැය ගනනක් ඇය, මිනිත්තු ගනන් කරමින් නිදි නොලබා ඇඳෙහි වැතිර සිටියාය.අවසානයේ නිවස පිටුපස ගොවිපලෙන් පලමු කුරුලු ගී නාදය ඇසෙන විට ඇය ගණන් කිරීම නවතා ගැඹුරු නින්දකට පිවිසියාය.

---------------------මතු සම්බන්ධයි-----------------------------

3 වන කොටස- බිහිසුණු තානායම් කරු



 දෙවන පරිච්ඡේදය-තානායම්කරු



ඔහු අඩි හතක් පමණ උස්වූ රැලි නැගුන හා දුඹුරු පැහැ මුහුනකින් යුතු විශාල මිනිසෙකි.ඔහුගේ කලු පැහැ ගනකම් කොන්ඩය දෙඇස් උඩින් හා කන් දෙපසින් නොසැලකිලිමත් ලෙස පහලට වැටී තිබිනි.අශ්වයෙකු සතු ජවය,ඔහුගේ පලල් ශක්තිමත් උරහිස් වලින්ද මහත් වූ බාහු යුගලයෙන් හා ඔහුගේ දනහිස තෙක් දික් වූ විශාල දෙ අත් වලින්ද  පිලිඹිබු විය.ඔහුගේ නාසය ඉදිරියෙන් වක් වී මුව දෙසට නැමී තිබුනේ කලක් හොද තත්ත්වයෙන් තිබි නමුත් දැන් ගිලා බැස පහල යොමු වී ඇති බවක් පෙන්නුම් කරමිනි.එහෙත් ඔහුගේ කලු පැහැ දෑසෙහි ගැබ්වී තිබූ යමක් ඒවටා සමේ රැලි ගැසීම නිසා ඇතිවූ ඉරි සියල්ල මකා දැම්මේය.ඔහු තුල ඉතිරිව තිබූ අලන්කාරම උපාන්ගය වූවේ ඔහුගේ දත් දෙපලයි.ඒවා ඉතා හොද තත්ත්වයෙන් සුදු පැහැයෙන් යුතුව තිබුනෙන් ඔහුගේ සිනහව පැහැදිලිව ඔහුගේ දුඹුරු පැහැ සමේ කැපී පෙනෙන්නට විය.එහෙත් එය මහත් අමානුශික, දුශ්ට සිනහවක් විය.

"හොදයි එහෙනම්.ඔයායි මේ මේරි යෙලන්" ඉදිරියෙන් ඇය වසාගෙන සිටගෙන, හිස ඇය දෙසට නවාගෙන ඇයව වඩා ලගින් නිරීක්ශනය කරමින් සිටි ඔහු අවසානයේ කීවේය.

"ඔයා මෙච්චර දුර කතර ගෙවාගෙන ඇවිත් ඉන්නේ ජොස් බාප්පාව රැක බලාගන්නයි එහෙනම්.මම කියන්නේ ඒක හරිම හොද වැඩක්" 

ඔහු නැවතත් සිනාසෙන්නට විය.ඔහුගේ සිනාවෙන් මුලු නිවසම දෝන්කාර දෙන්නට වූ අතර එය මේරිගේ තෙහෙට්ටුවෙන් හා කන්සාවෙන් යුත් සිතට කස පහරක් බදු විය.

"කෝ පේශන්ස් පුන්චි අම්මා?"

සීතල ගල් ඇල්ලූ පොලවකින් හා පටු තරප්පු පෙලකින් යුතුව ඇය වටා වූ අදුරු පැසේජය දෙස බලමින් ඇය ඇසුවාය.

"එයා මාව අද බලාපොරොත්තු උනේ නැත්ද එහෙනම්"

"කෝ පේශන්ස් පුන්චි අම්මා!!" ඇයගේ ස්වරයෙහි වූ උස් පහත් වීම් අනුකරනය කරමින් ඔහු කීවේය.ඉන්පසු ඔහු තරප්පු පෙල දෙසට හිස යොමු කොට "පේශන්ස්"යි කියමින් කෑගසන්නට විය. "ඔයා මොකද කරන්නේ?මෙන්න මේ කෙල්ල ඇවිත් ඔයාව ඉල්ලලා අඩනවා.එයාට මාව දැන්මම එපා වෙලා වගේ"

එම තරප්පු පෙල ඉහලින් ශබ්දයක් ඇසිනි.දෑතින් දෙඇස් දීප්තිමත් ආලෝකය වෙතින් මුවා කරමින් තරප්පු පෙළ බැස ආවේ කාන්තාවකි.ඇගේ උරහිස තෙක් දිගු අළු පැහැයට හැරෙමින් තිබූ තුනී කෙස් කලඹ මත කැප් තොප්පියකි.ඇගේ දෑස් සැමවිටම ප්‍රශ්න අසන්නක් බදුවූ විසල් ඒවා වූ අතර නිරන්තරයෙන්ම තොල් පෙති එකිනෙක තදකර ගැනීමත් නැවත ඉහිල් කිරීමත් ඇගේ පුරුද්දක් විය.ඇය හැද සිටියේ කලකට පෙර රත් පැහැයෙන් යුතුව තිබි නමුදු දැන් පාට දියවි ගොස් රෝස පැහැයට හැරී ඇතැයි සිතිය හැකි පරණ, ඉරි සහිත සායකි.

මේරි මහත් සිත් වේදනාවකින් කිසිවක් නොකියා ඇය දෙස බලා සිටින්නට විය.මේ අසරණ සත්වයා ඇගේ සිහින වල සිටි රූමත් පේශන්ස් පුන්චි අම්මාද?!
මෙවන් ඇදුම් වලින් සැරසී, පමනට වඩා අවුරුදු 20ක් පමන වැඩිමහලු පෙනුමකින් යුත් මැය?

එම කුඩා කාන්තාව තරප්පු පෙල බසිමින් ශාලාවට පැමිණියාය.ඉන්පසු මේරිගේ දෑත ඇගේ දෝතට ගෙන ඇය දෙස ලන්වී මහත් උනන්දුවෙන් බැලූ ඇය "ඔයා ඇත්තටම ආවාද?"යි කෙදිරුවාය.

"මේරි යෙලන්.එහෙම නේද?මගේ අක්කාගේ දරුවා"

මේරිගේ මව තම නැගණිය දැකීමට ජීවතුන් අතර නොමැති වීම ගැන ඇය දෙවියන්ට ස්තූති කලාය.

"මගේ ආදරණීය පේශන්ස් පුන්චි අම්මේ" ඇය මහත් දයාවෙන් කීවාය. "මට හරිම සතුටුයි ඔයාව ආයිත් දකින්න ලැබුනු එක ගැන.කොච්චර කල් ගත උනාද ඔයා අපිව බලන්න හෙල්ෆෝඩ් වලට ඇවිත් ගිහින්"

කාන්තාව එක වරම ඇයව තදින් වැලදගෙන ඇගේ දෙඋරහිස තුල හිස හොවා හඩ නැගෙන සේ මහත් බයෙන් හඩන්නට විය.

"අපෝ!! ඕක නවත්තනවා" ඇගේ සැමියා කෑගැසුවේය. "ඔහොමද මේ කෙල්ලව සාදරයෙන් පිලිගන්නේ? මොකද්ද දැන් අඩන්න තරම් වෙලා තියෙන්නේ.මෝඩි.මේ කෙල්ලට කන්න මොනවාහරි ඕන බව පෙන්නෙ නැත්ද? කුස්සියට ගිහින් මෙයාට කන්න මස් ටිකකුයි බොන්න මොනවා හරියි දෙනවා"

පේශන්ස් පුන්චි අම්මා තම සිත ආයාසයෙන් පාලනය කරගත්තාය.ඉන්පසු මේරිට මග පෙන්වමින් තවත් අදුරු පැසේජයකටත්.ඉන්පසු කුඩා ගිහි උදුනකින් සමන්විත මුලුතැන් ගෙයටත් ඇතුලු වූවාය.
"ජොස් බාප්පගේ කථා ගණන් ගන්න එපා"
ඇය කීවාය.
ඇයගේ ස්වරූපය සැනෙන් වෙනස් වූයේ හින්සා පීඩා හා කෲරකම් හමුවේ පුරුදු පුහුණු කරන ලදුවු,තම ස්වාමියා වෙත ප්‍රශ්න එල්ල කීරීමකින් තොරව අවනත වන කොතරම් කෑගැසීම් හා ගුටිබැට ඔහුගෙන් එල්ල වුවත් ව්‍යාග්‍රයෙක් මෙන් ඔහු වෙනුවෙන් දිවි පිදිමට වුවද ඉදිරිපත් වන පක්ශපාතී සුනඛයෙකුගේ ක්‍රියාකලාපයටයි.

"ඔයාගේ බාප්පාට පරිස්සමින් සලකන්න ඕනා දන්නවද.එයාට අමුතු ගති තියනවා.පිට මිනිස්සු එයාව මුලින් හරියට තේරුම් ගන්නේ නෑ.එයා මාව කසාද බැදපු දවසේ ඉදලාම මට හොද සැමියෙක් වුනා."
ගල් ඇල්ලූ පොළවක් සහිත එම මුලුතැන්ගෙයිහි එහා මෙහා දුවමින් කාර්යබහුලව කෑම මේසය සකස් කරන අතරතුර ඇය ඔහේ කියවාගෙන ගියාය.

-----------මතු සම්බන්ධයි----------

4/14/2013

8 වන කොටස -මේරි, තැබෑරුම් සේවිකාව!

සිවුවන පරිච්ඡේදය-මහ රෑ පැමිණි ගැල්


ඔවුන් එකා බැගින් පැමිණියහ.විල්ලුවේ ජීවත් වූ එම මිනිසුන් වත්ත හරහා සෙමෙන් අඩි තබමින් ඉක්මනින් එහි ආවේ කිසිවෙකුගේ අවධානය ඇද ගැනීමට අකමැත්තෙන් මෙනි.තැබෑරුමේ ජොස් මර්ලින් වටා එක් රොක් වී සිටියේ අමුතුම ආකාරයේ මිනිසුන් සමූහයකි.ඉදිරිපිට තබන ලද්දාවූ බීර බෝතල් වලින් වැසී සිටි මේරිට ඔවුන්ට නොදැනීම එම මිනිසුන් නිරීක්ෂණය කරන්නට අවස්ථාව සැලසිණි.සමහරෙක් ආසන වල දිග ඇදී සිටි අතර සමහරෙක් බිත්ති වලට පිටදී සිටගෙන සිටියහ.මේ අතර තවත් සමහරෙක් මේස ඉදිරිපිට හිඳ සිටි අතර හිස්මොළ හා ආමාශයන්හී දරාගැනීමේ හැකියාව ඉක්මවූ එකෙක් දෙන්නෙක් පමණ බිම දිගාවී සිටියහ.මින් බහුතරයක් අපිරිසිඳු.දිගු කොන්ඩා වවාගත් කැඩුණු නිය වලින් යුත් හරක් සොරකමේ යන්නවුන්,නාවිකයන්,ඉබාගාතේ යන වෙළෙන්ඳන් සහ සොරු විය.

එම කාමරයේ දසත පැතිරී තිබුනේ දුම්කොල හා බීම වර්ග වල සැර ගන්ධයට අමතරව දිගු කලකින් නොසෝදා තිබූ ශරීර වලින් පිටවූ ගන්ධයයි.මේරිට මහත් පිලිකුල් සහගත බවක් දැනෙන්නට වූ අතර ඔක්කාරයට එන්නට විය.තව දුරටත් මෙහි රැදී සිටියහොත් වමනයට ඒම වළක්වා ගත නොහැකි වන බව ඇය අවබෝධ කර ගත්තාය.එම කෙළවරක් නොමැති සැන්ඳෑවේ ඇගේ සිතෙහි තෙරපෙමින් තිබූ එකම සිතුවිල්ල වූයේ මෙම ස්ථානයෙන් ගැලවී යාමයි.එහි වාතලය එකිනෙකාගෙන් පිටවූ හුස්ම වලිනුත් දුම් වලිනුත් පිරී පැවති බැවින් කාමරය හරහා ඈත දැකගැනීමට පවා අපහසු විය.එබැවින් ඇගේ තෙහෙට්ටු බවින් යුතු අඩවන් දෑස් වලට එහි වූ මිනිසුන්ගේ මුහුණු කිසිඳු හැඩයකින් තොර ඒවා ලෙස පෙනුණු අතර එම විශාල කොන්ඩා,දත් හා මුඛයන් ඔවුන්ගේ ශරීර වලට වඩා විසල්ව පෙනෙන්නට විය.තවද පමණට වඩා මත්වී ආසන මත හෝ පොළව මත දිග ඇදී සිටින මිනිසුන් මලමිණී ලෙසත් ඔවුන් තමන්ගේ හිස් දෙ අත් අතර රඳවාගෙන සිටින ලෙසත් ඇයට පෙනෙන්නට විය.

දැන් තව දුරටත් සිටගෙන සිටීමට තරම් ශක්තියක් තිබූ අනෙක් සෑම දෙනාම රෙඩෲත් වලින් පැමිණ සිටි අපිරිසිඳු පෙනුමැති, ශරීරයෙන් කුඩාවූ, තොරොම්බල් කරුවෙකු වටා එක් රොක් වී සිටියහ. ඔහු තමාව මෙම පිරිස අතර විකටයා බවට පත්කරගෙන සිටියේය.
දැන් නටඹුන් අතර පවතින පතලක, කලකට පෙර රැකියාව කල මොහු ඉන්පසු තොරොම්බල් කරුවෙකු ලෙස මාර්ගයේ ඇවිදිමින් ව්‍යාපාරය ආරම්භකොට ඇත.දැන් මෙම මිනිසා  තමා කලක පටන් එකතු කරගත් ගීත සමූහයක් ගයමින් පිරිස ප්‍රමෝදයට පත් කරමින් සිටියේය.ඔහුගේ මෙම අප්‍රසන්න ගීත හා විහිළු නිසා නැග ආවේ වහල සෙලවෙන තරමේ මහා ඝෝසාකාරී සිනහවකි.මේරිට නම් මෙම විකාර ඝෝසාකාරී සිනහවෙහි සතුටු සිතුවිල්ලක් නොව මහත් අප්‍රසන්න දරුණු බවක් ගැබ්ව ඇතැයි හැඟිනි.එම සිනහ හඬ, ගලින් නිමවූ අඳුරු පැසේජ තුලටද ඉන්පසු උඩුමහලෙහි වූ හිස් කාමර වලටද ගලායමින් ඒවා බලාපොරොත්තු විරහිත හිස් බවකින් පුරවන්නට සමත් වුනු ලෙසකි.

ඇයට තවදුරටත් මේ සියල්ල දරාගත නොහැකි විය.ඇය තම බාප්පාගේ උරහිසට අතක් තැබූයෙන්, ඔහු කාමරයෙහි තිබූ රස්නය නිසා රත් පැහැ ගැන්වුනු මුහුණ ඇය වෙත හැරවූවේය.

"මට මේක තවත් නම් ඉවසන් ඉන්න බෑ" ඇය කීවාය."ඔයාම ඔයාගේ යාලුවන්ට සංග්‍රහ කරගන්න.මම යනවා උඩතට්ටුවේ මගේ කාමරේට"

"අහ්.දැන්මම ඇති උනාද?තමුන් අපිට හොඳ වැඩී කියලනෙ හිතන් ඉන්නේ.එහෙනම් යනවා යන්න. දැන් කොහොමත් 12ටත් කිට්ටු නිසා මට ඔයාව ආයිත් ඕන වෙන්නේ නෑ.අද රෑට දොර හොඳට අගුල් දාගෙන නිඳා ගන්නවා මේරි.ඔයාගෙ පුංචි අම්මා නම් දැන් ඇඳට ගිහින් පැයකටත් වැඩි ඇති.එයා ඇඳ රෙදි වලින් හොඳට ඔලුව වහගෙන ඇත්තෙ. "

මීලඟට තමාගේ හඬ බාල කල ඔහු ඇගේ දෙසවන් දෙසට නැමී ඇගේ මැණික් කටුවෙන් තදකොට අල්ලා ගත්තේය.එය ඇගේ පිටුපසට කොට අල්ලාගෙන ඇය වේදනාවෙන් කෑගසන තෙක් අනික් අතට ඇඹරවූ ඔහු "තමුන්ගේ කට වහලා තියාගත්තොත් මම හොඳට සලකනවා.මේ ජැමෙයිකා තානායමේදී අනුන්ගේ වැඩ වලට ඇඟිලි ගහන්න එන එක මෝඩ වැඩක්.ඒක හොදට මතක තියාගන්නවා."යී කීවේය.

මේරි මහ හඬින් දොර වසා දමමින් කාමරයෙන් පිටතට දිවයන්නට විය.තරප්පු පෙළ නැග ඉහළ මාලයට ගමන් කරන අතරතුර ඇය දෑතින් කොපමණ තදින් දෙසවන් වසා සිටියත් ඇයට එම සිනහ හඬින් හා නොදැමුණු ගී හඬින් ඈත් වීමට නොහැකි විය.ඇය තම කාමරයට හිස් පැසේජයට යටින් ගමන් කරන විට ඈ පසුපසින් පැමිණි එම හඬ එපමණකින් නොනැවතී පොළවට සවිකර තිබූ ලෑලි අතර හිඩැස් අතරින්ද හඹා එන්නට විය.ඉතින් ඇය තම බාප්පා කියූ පරිදි කලාය.ඉක්මණින් ඇදුම් මාරු කොට ඇඳට බඩගෑ ඇය තම ඇද රෙදි හිස මතට ඇදගෙන ඇඟිලි තුඩු දෙකන් තුලට දමා ඒවා වසාගත්තාය.ඇගේ සිතෙහි දැන් තිබූ එකම සිතුවිල්ල වූයේ එම කෑගසීම් වලින් සහනයක් ලැබෙනවානම් යන්නයි.


---මතු සම්බන්ධයි--



මීලඟ කොටසෙන්:
හොර රහසේම තැබෑරුමේ සිදුවන දෑ බලා සිටින මේරිට දකින්නට ලැබෙන්නේ මහත් බිහිසුණු දසුනකි.මින් ක්ලාන්තයට පත්වන ඇයට ඉන්පසු කුමක් සිදු වේද? මීලඟ කොටසෙන් හමුවෙමු.

4/09/2013

6 වන කොටස-වසා තිබූ දොර



තෙවන පරිච්ඡේදය-වසා තිබූ දොර


මේරි අලුයම අවදි වන විට හිරු සිහින්ව හා මලානිකව පායා තිබුණු අතර තෙත සහිත සුලඟක් බටහිර දෙසින් හමමින් පැවතිනි.උදෑසන ආහාර වේලෙන් පසු සාමාන්‍ය ගෙඩ්ගර දොර වැඩපල කරන අතර ඇයට තානායම ඇතුලත හොදින් අධ්‍යනය කරන්නට ඉඩ සැලසිනි.එය දිගු පැසේජ වලිනුත් බලාපොරොත්තු නොවන තැන් වල පිහිටා තිබූ කාමර වලිනුත් යුත් යුත් අඳුරු ස්ථානයකි.තැබෑරුමට පිටතින් ඇතුලු වීමට වෙනම දොරක් නිවසේ පැත්තකින් පිහිටා තිබුණි. දවසේ මේ කාලයේ එය  හිස්ව තිබුනද එහි වාතය බරැති යමකින් පිරී පැවතිණි.අවසන් වතාවට තැබෑරුම කාර්යබහුලව පැවති අවස්ථාවේ එහි පිරී තිබූ බීම වර්ග වල අප්‍රසන්න පිළුණු ගන්ධයත්,පරණ දුම්කොල රසයත්, අපිරිසිදු, උණුසුම් මිනිසුන් එකිනෙකා හා තෙරපෙමින් එම අඳුරු ලී ආසන වල හිද සිටි අයුරුත් විදහා දක්වන යමකුත් වාතයෙහි ඉතිරි වී තිබිණි.

පැසේජයේ ඈතින් මුළුතැන්ගෙට මුහුණලා තවත් කාමරයක් විය.එහි දොර හොඳින් අඟුලු දමා තිබුනි.මේරි ඉදිරිපස වත්තට ගොස් එම කාමරයේ ජනේලයෙන් එහි ඇතුලත බැලීමට උත්සහ කලද එහි ජනෙල් රාමුවට ලී පුවරුවක් සවිකොට ඇණ ගසා තිබුනෙන් එම උත්සහය නිරර්ථක විය.
නිවස සහ ගොඩනැගිල්ලේ අනෙක් කොටස් එක්වී සමචතුරස්‍රයක පැති තුනක් නිර්මාණය කල අතර එම සමචතුරස්‍රය කුඩා ගෙවත්තක් විය.එම ගෙවත්තේ ඉදිරියෙන් මහා මාර්ගය වැටී තිබුනු අතර එය සිහින් සුදු පැහැ රේඛාවක් විලසින්,මහ වැස්සෙන් තෙත බරිත වූ දුඹුරු පැහැ විල්ලුව මැදින්  ක්ෂිතිජ ඉම කරා ඇදෙමින් පැවතිනි.
මේරි නිවසින් පිටතට ගොස් මාර්ගයට වී ඇය වටා ඇතිදේ නිරීක්ෂණය කලාය.එහි දැසට උකහා ගත හැකි එකම දර්ශණය වූයේ කලු පැහැ කදු වැටි හා විල්ලුව පමණි.පෙනෙන මානයේ වූ එකම නිවස එම උස් වූ දුම් කවුළු වලින් යුත් වූ අළු පැහැ ගලින් නිමවූ නිවස පමණි. ඇය පුංචි අම්මා සොයා නැවතත් නිවස තුලට ගියාය.

"පේශන්ස් පුංචි අම්මේ" ඇය කීවාය."ඇයි බාප්පා මේ ජැමෙයිකා තානායම කරගෙන යන්නේ ඉතින්?"

මෙම අනපේක්ෂිත සෘජු ප්‍රහාරයෙන් කාන්තාව මවිත වූ අතර පිළිතුරක් දීමට මත්තෙන් ඇය දෙස මද වේලාවක් බලාසිටියාය. ඉන්පසු මදක් රත් පැහැයට හැරුණු ඇය "ම්ම්..ඒක මෙහෙමනෙ"යි කීවාය.

"මෙතන.ම්ම්.ඔව්.මෙතන ගොඩක් වැදගත් තැනක්.පාර අයිනේ තියෙන්නෙත්,ඔයාට පේනවනේ.දකුණේ ඉඳන් එන ප්‍රධාන පාර තමයි මේ.අශ්ව කරත්ත සතියකට දෙපාරක් මෙතන පහුකරන් යනවා.හැමවෙලේම සංචාරකයෝ මේ පාරේ යනවා.ඉතින් අපි හොද වෙළදාමක් කරගන්නවා."

"ඔයා කොහොමද එහෙම කියන්නේ?මෙහේ කාමර ගොඩ කාලේකින් පාවිච්චි කරලත් නෑ.මේ නිදන කාමර හොඳ මීයොන්ට තමා.මම දැක්කනේ ඒවා."

ඇගේ පුංචි අම්මා ඇඟිලි එකිනෙක අඹරවමින්ද යමක් කීමට මුව සකස් කරමින්ද මඳක් නිහඬ විය.

"ඔයාගේ ජොස් බාප්පා මිනිස්සුන්ට මෙහේ ඉන්න කියලා ධෛර්යයමත් කරන්නේ නෑ.
මම දැන් කිව්වේ ඔයාට,අපි හොඳට වෙළදාම් කරන් යනවා.අහල පහල තියන ගොවිපොලවල් වලින් මිනිස්සු එනවා.මේ විල්ලුව පුරාම හැතැම්ම ගානක් වටේට තැන් තැන් වල ගොවිපොලවලුයි ගෙවලුයි තියනවානේ.ඒවායේ ජීවත්වෙන මිනිස්සු මෙහෙට එනවා බොන්න.සමහර හවස්වරු වලට මෙහෙ තැබෑරුම පිරෙනවා."


"ඊයේ අශ්වකරත්ත රියදුරා කිව්වා වැදගත් මිනිස්සු දැන් ජැමෙයිකා තානායමට යන්නේ නෑ කියලා.එයා කියනවා මිනිස්සු බයයිලු"

පේශන්ස් පුංචි අම්මාගේ වතෙහි පැහැය සැනෙකින් වෙනස් විය.දැන් ඇය සුදුමැලි පැහැයෙන් යුතු වූ අතර දෑස් කිසිවක් සොයමින් එහෙමෙහෙ දිවයන්නට විය.ඇය කෙල ගිල ඉන්පසු දිවෙන් තොල තෙමා ගත්තාය.

"ඔයාලගේ ජොස් බාප්පාට හරි ඉක්මන්ට කේන්ති යනවා."ඇය කියුවාය."ඊයේ ඔයා දැක්කනේ.එයාව ලේසියෙන් තරහාගස්සන්න පුළුවන්"

 ඇගේ දෑස් තවත් ප්‍රශ්න නොඅසන ලෙස බැගෑපත්ව ඉල්ලමින් සිටියාය.මෙම ප්‍රශ්න කිරීමෙන් පුංචි අම්මා මහත් පීඩාවකට පත්ව ඇති වග මේරි වටහා ගත්තද ඇයට එම අවසාන ගැටලුව ඇසීමට මහත් වුවමනාවක් තිබිනි.

"පේශන්ස් පුංචි අම්මේ"ඇය කීවාය.
"මගේ දිහා කෙලින් බලලා මේ ප්‍රශ්නයට විතරක් උත්තර දෙන්න.ඊට පස්සේ මම ආයිත් ඔයාට කරදර කරන්නේ නෑ.අර පැසේජයේ අන්තිම හරියේ වහල තියන කාමරෙයි මෙහේ රෑට නවත්තනවා කියන අශ්වකරත්ත වලයි තියන සම්බන්ධෙ මොකද්ද?"

එම අවසාන වචන ඇගේ මුවින් ගිලිහෙනවාත් සමඟම ඇය ඒ පිළිබදව පසුතැවිලි වූවාය.පේශන්ස් පුංචි අම්මාගේ මුහුණ අමුතුම ස්වරූපයකට වෙනස් වූ අතර ඇගේ විශාල දෑස් මහත් සන්ත්‍රාසයකින් මේසය හරහා ඈත බලාසිටින්නට විය.ඇගේ මුව වෙව්ලන්නට වූ අතර ඇය නොදැනුවත්වම ඇගේ අත ගෙල කරා ගියේය.මේරි තම අසුන පිටිපසට තල්ලුකරමින් වහාම ඇගේ එක්පසකින් දණගසා ගත්තාය.ඇය තම දෙ අත් පුංචි අම්මාගේ දෙපසින් යවා ඇයව ලංකර ගනිමින් හිස සිප ගත්තාය.

"මට සමාවෙන්න" ඇය කීවාය"මත් එක්ක තරහා වෙන්න එපා.ඇත්තටම ඒක මගේ වැඩක් නෙමේනේ.මට ඔයාගෙන් ප්‍රශ්න අහන්න අයිතියක් නෑ.මට මං ගැනම ලජ්ජා හිතෙනවා.අනේ කරුණාකරලා මම කියපුවා අමතක කරලා දාන්න."


පුංචි අම්මා මේරිගේ දෙ අත් වල තම මුහුණ සඟවා ගත්තාය.ඉන්පසු තම උරහිස උඩින් බියෙන් පිටුපස බලා, ජොස් එහි දොර පිටුපස වු සෙවනැලි අතර සැඟවී නැති බව සැක හැර දැනගත් ඇය මෙසේ කීවාය.

" මේරි,මේ ජැමෙයිකා තානායමේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා.ඒ ගැන වචනයක් වත් පිට කරන්න  හිතන්න වත් බැරි විදියේ දේවල්.ගොඩක් නරක,දුශ්ඨ දේවල්. මට ඒව ඔයාට කවදාවත් කියන්න බෑ.මම තාම ඒවා මෙහෙ සිද්ධ වෙනවා කියල පිළිගන්න වත් ලෑස්ති නෑ.

සමහර දේවල් ඔයා වෙලාව ආවාම දැනගනීවි.මෙහේ දිගටම ජීවත් වෙනකොට ඔයා ඒවා අත්දකීවි.ඔයාගේ ජොස් බාප්පා අමුතුම විදියේ මිනිස්සු තමා ආශ්‍රය කරන්නේ.එයාලා අමුතු ව්‍යාපාරයක් කරන්නේ.සමහර දවස් වල රෑට මෙහෙ එනවා.

ඔයාට ඇහෙයි ජනේලෙන් අඩි සද්ද,කතා කරන හඩවල්,දොරට ගහන සද්දෙ.ඔයාගේ බාප්පා එතකොට එයාලව ඇතුලට ගනිවී.අරන් එයාලාව මේ පැසේජය දිගේ අර අගුල් දාපු කාමරේට අරන් යාවි.උදේ වෙද්දි එයාලා ගිහින්.හරියට එයාලා කවදාවත් මෙහෙ හිටියෙත් නෑ වගේ.කිසිම සලකුණක් ඉතිරි නොකර එයාලා යන්නේ.එයාලා ආවාම මේරි,ඔයා මටවත් ජොස් බාප්පටවත් වචනයක් වත් කියන්න යන්න එපා.ඇඳට වෙලා අත් දෙකෙන් කන් වහගෙන ඉන්න ඕන."

ඉන්පසු අසුන පිටුපසට කරමින් ඉන් නැගී සිටි ඇය ඉවතට ගියාය.මඳ වෙලාවකින් ඇය, උඩුමහලට පිවිසෙන තරප්පු පෙළ බරැති අඩි තබමින් නැගයනු මේරිට ඇසිණි.

               ----------------මතු සම්බන්ධයි-------------
                                       

4/04/2013

4 වන කොටස-ජැමෙයිකා තානායමේ පළමු රාත්‍රී බෝජනය!


එක්වරම දොරෙන් එපිට සිට අඩි ශබ්දයක් ඇසුනු අතර මේරිගේ හදවත කිඳා බැස්සේය.ජොස් බාප්පා පහත මාලය පැමිණ ඇත.ඔහු කාමරයට පැමිණ මේරි දෙසත් පුංචි අම්මා දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය.ඉන්පසු බිත්තිය අසල තිබූ පුටුවක් ඇදගත් ඔහු එය මේසය දෙසට තල්ලු කලෙන් හඩ නංවමින්  පුටුව මේසයේ වැදිනි.ඉන්පසු ඔහුගේ විශාල කය අසුන දෙසට පහත් කල ඔහු මේරිව මේසයට කැඳවන්නටත් ප්‍රථම පාන් ගෙඩියක් ගෙන ඉන් විශාල කොටසක් කපා මුවට දමා ගත්තේය.


"ඔයාට හොද කෑම වේලක් ඕනා.මට පේනවා"කී ඔහු පරෙස්සමින් පාන් ගෙඩියක බටර් තවරන්නට විය.
ඉන් සිහින් පෙත්තක් කැපූ ඔහු ඇය සදහා එය නැවතත් කොටස් හතරකට කැපුවේය.ඔහු එම කාර්යය කොතරම් සියුම්ව,ඔහු ඔහුටම පිළිගන්වා ගත් අයුරට වඩා හාත්පස වෙනස් අයුරකින් හා සන්සුන්ව කලේද යත් ඔහුගේ එම රළු බවින් සන්සුන් බවට වෙනස් වීම මේරිට මහත් භීතියක් ඇති කලේය.

ඔහුගේ ඇඟිලි සතුවූ යම් අත්භූත බලයකින් අසුරු සැනින් එවා දක්ෂ සේවකයින් පිරිසක් බවට පත්කල සෙයකි.

"පේශන්ස්" ඔහු කීවේය. "මෙන්න මේ යතුර අරන් ගිහින් මට බෝතලයක් අරන් එනවා.දෙයියන්ගේ නාමෙට!! මට පුදුම තිබහක් තියෙන්නේ."

මද වේලාවකට පසු මත්පැන් බදුනක් අතින් ගෙන එහි ආ ඔහුගේ බිරිඳ එය ඔහු ඉදිරිපිට තැබුවාය.
ඇය ආහාර පිස අවසන් කොට එවා මේරිට හා තමාට පිළිගන්වන අතරතුර ඔහු මේසයේ එක් පාදයකට පයින් පහර දෙමින් මත්පැන් පානය කරන්නට විය. එක්වරම ඔහු ඔහුගේ මිටි කල අතෙන් මේසය මැදට පහරක් එල්ල කලේය.එහි වූ පිඟන් කෝප්ප දෙදරන්නට විය.එක් බදුනක් මේසයෙන් පෙරලී විත් කැබලි වලට බිදී ගියේ මහ හඩක් නංවමිනි. 

"මම තමුන්ට එකක් කියන්නම්,මේරි යෙලන්" ඔහු කෑගසුවේය.
"මම තමා මේ ගෙදර ප්‍රධානියා.ඒක තමුන් හොදට මතක තියාගන්න.ඔයා වැඩ කරන්න ඕනි මම කියන විදියටයි.ගෙදර වැඩට උදවු වෙලා තැබෑරුමේ වැඩ ටික කරන්න ඕන.එතකොට මම තමුන්ට ඇඟිල්ලක් වත් තියන්නෙ නෑ.ඒත් දෙයියන්ගේ නාමෙට තමුන් කට වහන් හිටියෙ නැත්තන් මගෙන් හොදට ගුටි බැට හම්බවෙයි.හොදට මට්ටු වෙනකල්.හරියට මේ ඔයාගේ පුංචි අම්මා වගේ"


මේරි මේසයේ අනෙක් පස සිට ඔහු දෙස බලා සිටියාය.ඇය ඇගේ දෙ අත් මේසයේ යටින් තබාගෙන සිටියේ එවා වෙවුලන අයුරු ඔහුට දැකගත නොහැකි වන අයුරෙනි.

"මට තේරෙනවා" ඇය කීවාය."මට වැඩක් නෑ ඔයා මේ තානායම ඇතුලෙ මොනවා කලත්.මම මෙහෙ තියන වැඩක් කරගෙන ඉන්නම්.මම මගේ ගැන කිසිම දොසක් කියන්න ඔයාට ඉඩ තියන්නේ නෑ.
ඒත් ඔයා මගේ පුංචි අම්මාව මොන විදියෙන් හරි රිදෙව්වොත්,මම මෙන්න මේ ටික කියන්නම්-මම ජැමෙයිකා තානායම අතඇරලා යනවා.ගිහින් හොයාගෙන එනවා මහේස්ත්‍රාත් කෙනෙක්.එයාව මෙහෙට එක්කන් ඇවිත් ඔයාව නීතිය ඉදිරියට ගේනවා.ඊට පස්සෙ ඔයාට පුලුවන්නම් මට ගුටි බැට දෙන්නකො."

මේරි සුදුමැලි වූ මුහුනින් යුතුව එහි හිද සිටියාය.ඇය දැන නොසිටියත් ඇය විසින් ඇයවම මේ මිනිසාගෙන් ගලවාගෙන තිබිනි.ඇය සතු ධෛර්යය විදහාලන මෙම කතාව මෙම මිනිසා තුල මහත් බලපෑමක් ඇති කිරීමට සමත් වී තිබිනි.ඔහු පුටුවේ පසුපසට හොඳින් හේත්තු වෙමින් තමාව සන්සුන් කරගත්තේය.

"ඒක හරිම හොඳයි" ඔහු කීවේය.
"හරි ලස්සනට කිව්වා ඒ ටික.දැන් අපි දන්නවා මොන වගේ අමුත්තෙක්ද මේ කියලා.එයාව තරහ ගැස්සුවොත් එයා දත් විලිස්සනවා.හරි ලමයා.ඔයයි මමයි මම හිතුවට වඩා සෑහෙන්න එක වගේ."

අපි මේ සෙල්ලම, කරනවා නම් එකට කරමු.මට කවදාහරි දවසක ඔයාට මේ ජැමෙයිකා තානායමේ රස්සාවක් දෙන්න පුලුවන් වෙයි.ඔයා කවදාවත් නොකරපු විදියේ රස්සාවක්! මේරි යෙලන්.ජීවිතයත් මරණ්යත් අතර සෙල්ලම් කරන රස්සාවක්!.පිරිමි කරන රස්සාවක් මේරි යෙලන්!"

මේරිට ඇගේ පිටුපසින් පුංචි අම්මාගේ සිහින් කෑගැසීමක් ඇසිනි.
"අනේ ජොස්" ඇය කෙඳිරුවාය."අනේ ජොස් කරුණාකරලා"

ඇගේ කටහඩෙහි ගැබ්ව තිබූ මහත්වූ භීතිය හා සන්ත්‍රාසය හදුනාගත් මේරි ඇය දෙස පුදුමයෙන් බැලුවාය.

ඇගේ බාප්පා එවිට සිය අත නොසැලකිලිමත් ලෙස වනමින් "ඇදට යනවා පේශන්ස්"යි කීවේය.
"මට ඔයාගේ ජරා මූණ කෑම මේසෙදි දැකලම එපා වෙලා.මේ කෙල්ලයි මමයි අපි දෙන්නව හොදට තේරුම් ගත්තා"

කාන්තාව එකෙණෙහිම නැගිට දොර වෙත ගියාය.උරහිසට උඩින් බලමින් අවසන් අසරණ බැල්මත් ඔහු වෙත යොමු කල ඇය උඩුමහලට නැග්ගාය. ජොස් මර්ලින් සහ මේරි අවසානයේ එහි තනි විය.අතේ තිබූ හිස් වීදුරුව ඉවතට තල්ලු කල ඔහු මේසය මතින් දෑත් බැදගත්තේය.

"මගේ ජීවිතේ එක දුර්වලකමක් තියනවා.මම ඔයාට කියන්නම් ඒ මොකද්ද කියලා.ඒ තමයි මේ බෝතලේ.ඒක සාපයක් කියල මම දන්නවා.මට මාවම නතර කරගන්න බෑ.එක දවසක ඒක මගේ අවසානය වෙයි.ඒත් එකෙන් හොදක් නම් සිද්ධවෙයි.

සමහර කාලවල් වලට මම මේවායින් එක බිනංදුවකට වඩා අත වත් තියන්නේ නෑ...ඒත් අන්තිමට මට මහා තිබහක් දැනෙනවා- එතකොට මම බොනවා බොනවා පැය ගානක් තිස්සේ.ඊට පස්සෙ මම කියවනවා මම කරපු හැමදෙයක්ම කියල ඉවර වෙනකල්ම.මේ හතර මායිමේ ඉන්න හැමෝම දැනගන්නකල්...

මම මේව කියන්නේ මම දැනටමත් ඕනවට වඩා බීල නිසයි.දැන් මට මගේ කට පරිස්සම් කරගන්න බැරි නිසයි.ඒ කොහොම උනත් මම මගේ ඔලුව පාලනය කරගන්න දන්නවා.මම ඇයි මේ මූසල ගෙදරට වෙලා මේක අයිති කරගෙන ඉන්නේ කියලා කියන්න තරම් මම තාම බීල වැඩි උනේ නම් නෑ."

ඔහු හඬ බාල කොට කෙඳිරිල්ලක් තරම් වූ හඬකින් කියන්නට විය.ගිනි උඳුන නිවී යමින් පැවතුන අතර අඳුරු සෙවණැලි දිගු ඇඟිලි මෙන් බිත්තිය මත පතිත වි තිබිනි.මේසය මත වූ මලානික එළිය, ජොස් මර්ලින්ගේ විශාල විරූපි සෙවනැල්ලක් සිවිලිම මත මවන්නට විය.