පොත ගැන


මව මිය ගිය පසු තම පුංචි අම්මා සහ බාප්පා සමග ජීවත් වීමට ජැමෙයිකා තානායමට යන මේරි යෙලන්ට අත්භූත ,අභිරහස් සිදුවීම් පෙලකට මුහුණ දීමට සිදුවෙයි. මේරි සෙමෙන් එම නිවසෙහි සැඟවුනු සත්‍ය වටහා ගන්නා අතර ඇය සහ ඇගේ පුංචි අම්මා මහත් දරුණු අන්තරායක පැටලී ඇති බව අවබෝධ කර ගනීයි.


ඇයට ඇයවත් පුංචි අම්මාවත් මින් ගලවාගත හැකි වේද?

4/09/2013

6 වන කොටස-වසා තිබූ දොර



තෙවන පරිච්ඡේදය-වසා තිබූ දොර


මේරි අලුයම අවදි වන විට හිරු සිහින්ව හා මලානිකව පායා තිබුණු අතර තෙත සහිත සුලඟක් බටහිර දෙසින් හමමින් පැවතිනි.උදෑසන ආහාර වේලෙන් පසු සාමාන්‍ය ගෙඩ්ගර දොර වැඩපල කරන අතර ඇයට තානායම ඇතුලත හොදින් අධ්‍යනය කරන්නට ඉඩ සැලසිනි.එය දිගු පැසේජ වලිනුත් බලාපොරොත්තු නොවන තැන් වල පිහිටා තිබූ කාමර වලිනුත් යුත් යුත් අඳුරු ස්ථානයකි.තැබෑරුමට පිටතින් ඇතුලු වීමට වෙනම දොරක් නිවසේ පැත්තකින් පිහිටා තිබුණි. දවසේ මේ කාලයේ එය  හිස්ව තිබුනද එහි වාතය බරැති යමකින් පිරී පැවතිණි.අවසන් වතාවට තැබෑරුම කාර්යබහුලව පැවති අවස්ථාවේ එහි පිරී තිබූ බීම වර්ග වල අප්‍රසන්න පිළුණු ගන්ධයත්,පරණ දුම්කොල රසයත්, අපිරිසිදු, උණුසුම් මිනිසුන් එකිනෙකා හා තෙරපෙමින් එම අඳුරු ලී ආසන වල හිද සිටි අයුරුත් විදහා දක්වන යමකුත් වාතයෙහි ඉතිරි වී තිබිණි.

පැසේජයේ ඈතින් මුළුතැන්ගෙට මුහුණලා තවත් කාමරයක් විය.එහි දොර හොඳින් අඟුලු දමා තිබුනි.මේරි ඉදිරිපස වත්තට ගොස් එම කාමරයේ ජනේලයෙන් එහි ඇතුලත බැලීමට උත්සහ කලද එහි ජනෙල් රාමුවට ලී පුවරුවක් සවිකොට ඇණ ගසා තිබුනෙන් එම උත්සහය නිරර්ථක විය.
නිවස සහ ගොඩනැගිල්ලේ අනෙක් කොටස් එක්වී සමචතුරස්‍රයක පැති තුනක් නිර්මාණය කල අතර එම සමචතුරස්‍රය කුඩා ගෙවත්තක් විය.එම ගෙවත්තේ ඉදිරියෙන් මහා මාර්ගය වැටී තිබුනු අතර එය සිහින් සුදු පැහැ රේඛාවක් විලසින්,මහ වැස්සෙන් තෙත බරිත වූ දුඹුරු පැහැ විල්ලුව මැදින්  ක්ෂිතිජ ඉම කරා ඇදෙමින් පැවතිනි.
මේරි නිවසින් පිටතට ගොස් මාර්ගයට වී ඇය වටා ඇතිදේ නිරීක්ෂණය කලාය.එහි දැසට උකහා ගත හැකි එකම දර්ශණය වූයේ කලු පැහැ කදු වැටි හා විල්ලුව පමණි.පෙනෙන මානයේ වූ එකම නිවස එම උස් වූ දුම් කවුළු වලින් යුත් වූ අළු පැහැ ගලින් නිමවූ නිවස පමණි. ඇය පුංචි අම්මා සොයා නැවතත් නිවස තුලට ගියාය.

"පේශන්ස් පුංචි අම්මේ" ඇය කීවාය."ඇයි බාප්පා මේ ජැමෙයිකා තානායම කරගෙන යන්නේ ඉතින්?"

මෙම අනපේක්ෂිත සෘජු ප්‍රහාරයෙන් කාන්තාව මවිත වූ අතර පිළිතුරක් දීමට මත්තෙන් ඇය දෙස මද වේලාවක් බලාසිටියාය. ඉන්පසු මදක් රත් පැහැයට හැරුණු ඇය "ම්ම්..ඒක මෙහෙමනෙ"යි කීවාය.

"මෙතන.ම්ම්.ඔව්.මෙතන ගොඩක් වැදගත් තැනක්.පාර අයිනේ තියෙන්නෙත්,ඔයාට පේනවනේ.දකුණේ ඉඳන් එන ප්‍රධාන පාර තමයි මේ.අශ්ව කරත්ත සතියකට දෙපාරක් මෙතන පහුකරන් යනවා.හැමවෙලේම සංචාරකයෝ මේ පාරේ යනවා.ඉතින් අපි හොද වෙළදාමක් කරගන්නවා."

"ඔයා කොහොමද එහෙම කියන්නේ?මෙහේ කාමර ගොඩ කාලේකින් පාවිච්චි කරලත් නෑ.මේ නිදන කාමර හොඳ මීයොන්ට තමා.මම දැක්කනේ ඒවා."

ඇගේ පුංචි අම්මා ඇඟිලි එකිනෙක අඹරවමින්ද යමක් කීමට මුව සකස් කරමින්ද මඳක් නිහඬ විය.

"ඔයාගේ ජොස් බාප්පා මිනිස්සුන්ට මෙහේ ඉන්න කියලා ධෛර්යයමත් කරන්නේ නෑ.
මම දැන් කිව්වේ ඔයාට,අපි හොඳට වෙළදාම් කරන් යනවා.අහල පහල තියන ගොවිපොලවල් වලින් මිනිස්සු එනවා.මේ විල්ලුව පුරාම හැතැම්ම ගානක් වටේට තැන් තැන් වල ගොවිපොලවලුයි ගෙවලුයි තියනවානේ.ඒවායේ ජීවත්වෙන මිනිස්සු මෙහෙට එනවා බොන්න.සමහර හවස්වරු වලට මෙහෙ තැබෑරුම පිරෙනවා."


"ඊයේ අශ්වකරත්ත රියදුරා කිව්වා වැදගත් මිනිස්සු දැන් ජැමෙයිකා තානායමට යන්නේ නෑ කියලා.එයා කියනවා මිනිස්සු බයයිලු"

පේශන්ස් පුංචි අම්මාගේ වතෙහි පැහැය සැනෙකින් වෙනස් විය.දැන් ඇය සුදුමැලි පැහැයෙන් යුතු වූ අතර දෑස් කිසිවක් සොයමින් එහෙමෙහෙ දිවයන්නට විය.ඇය කෙල ගිල ඉන්පසු දිවෙන් තොල තෙමා ගත්තාය.

"ඔයාලගේ ජොස් බාප්පාට හරි ඉක්මන්ට කේන්ති යනවා."ඇය කියුවාය."ඊයේ ඔයා දැක්කනේ.එයාව ලේසියෙන් තරහාගස්සන්න පුළුවන්"

 ඇගේ දෑස් තවත් ප්‍රශ්න නොඅසන ලෙස බැගෑපත්ව ඉල්ලමින් සිටියාය.මෙම ප්‍රශ්න කිරීමෙන් පුංචි අම්මා මහත් පීඩාවකට පත්ව ඇති වග මේරි වටහා ගත්තද ඇයට එම අවසාන ගැටලුව ඇසීමට මහත් වුවමනාවක් තිබිනි.

"පේශන්ස් පුංචි අම්මේ"ඇය කීවාය.
"මගේ දිහා කෙලින් බලලා මේ ප්‍රශ්නයට විතරක් උත්තර දෙන්න.ඊට පස්සේ මම ආයිත් ඔයාට කරදර කරන්නේ නෑ.අර පැසේජයේ අන්තිම හරියේ වහල තියන කාමරෙයි මෙහේ රෑට නවත්තනවා කියන අශ්වකරත්ත වලයි තියන සම්බන්ධෙ මොකද්ද?"

එම අවසාන වචන ඇගේ මුවින් ගිලිහෙනවාත් සමඟම ඇය ඒ පිළිබදව පසුතැවිලි වූවාය.පේශන්ස් පුංචි අම්මාගේ මුහුණ අමුතුම ස්වරූපයකට වෙනස් වූ අතර ඇගේ විශාල දෑස් මහත් සන්ත්‍රාසයකින් මේසය හරහා ඈත බලාසිටින්නට විය.ඇගේ මුව වෙව්ලන්නට වූ අතර ඇය නොදැනුවත්වම ඇගේ අත ගෙල කරා ගියේය.මේරි තම අසුන පිටිපසට තල්ලුකරමින් වහාම ඇගේ එක්පසකින් දණගසා ගත්තාය.ඇය තම දෙ අත් පුංචි අම්මාගේ දෙපසින් යවා ඇයව ලංකර ගනිමින් හිස සිප ගත්තාය.

"මට සමාවෙන්න" ඇය කීවාය"මත් එක්ක තරහා වෙන්න එපා.ඇත්තටම ඒක මගේ වැඩක් නෙමේනේ.මට ඔයාගෙන් ප්‍රශ්න අහන්න අයිතියක් නෑ.මට මං ගැනම ලජ්ජා හිතෙනවා.අනේ කරුණාකරලා මම කියපුවා අමතක කරලා දාන්න."


පුංචි අම්මා මේරිගේ දෙ අත් වල තම මුහුණ සඟවා ගත්තාය.ඉන්පසු තම උරහිස උඩින් බියෙන් පිටුපස බලා, ජොස් එහි දොර පිටුපස වු සෙවනැලි අතර සැඟවී නැති බව සැක හැර දැනගත් ඇය මෙසේ කීවාය.

" මේරි,මේ ජැමෙයිකා තානායමේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා.ඒ ගැන වචනයක් වත් පිට කරන්න  හිතන්න වත් බැරි විදියේ දේවල්.ගොඩක් නරක,දුශ්ඨ දේවල්. මට ඒව ඔයාට කවදාවත් කියන්න බෑ.මම තාම ඒවා මෙහෙ සිද්ධ වෙනවා කියල පිළිගන්න වත් ලෑස්ති නෑ.

සමහර දේවල් ඔයා වෙලාව ආවාම දැනගනීවි.මෙහේ දිගටම ජීවත් වෙනකොට ඔයා ඒවා අත්දකීවි.ඔයාගේ ජොස් බාප්පා අමුතුම විදියේ මිනිස්සු තමා ආශ්‍රය කරන්නේ.එයාලා අමුතු ව්‍යාපාරයක් කරන්නේ.සමහර දවස් වල රෑට මෙහෙ එනවා.

ඔයාට ඇහෙයි ජනේලෙන් අඩි සද්ද,කතා කරන හඩවල්,දොරට ගහන සද්දෙ.ඔයාගේ බාප්පා එතකොට එයාලව ඇතුලට ගනිවී.අරන් එයාලාව මේ පැසේජය දිගේ අර අගුල් දාපු කාමරේට අරන් යාවි.උදේ වෙද්දි එයාලා ගිහින්.හරියට එයාලා කවදාවත් මෙහෙ හිටියෙත් නෑ වගේ.කිසිම සලකුණක් ඉතිරි නොකර එයාලා යන්නේ.එයාලා ආවාම මේරි,ඔයා මටවත් ජොස් බාප්පටවත් වචනයක් වත් කියන්න යන්න එපා.ඇඳට වෙලා අත් දෙකෙන් කන් වහගෙන ඉන්න ඕන."

ඉන්පසු අසුන පිටුපසට කරමින් ඉන් නැගී සිටි ඇය ඉවතට ගියාය.මඳ වෙලාවකින් ඇය, උඩුමහලට පිවිසෙන තරප්පු පෙළ බරැති අඩි තබමින් නැගයනු මේරිට ඇසිණි.

               ----------------මතු සම්බන්ධයි-------------
                                       

No comments:

Post a Comment